හඳුනාගත්තොත් ඔබ මා.....
මනුලොවේ ජීවය ඇරඹී දින සිට මිනිසා කුතුහලයෙන් තමා අවට පරිසරයත්, විශ්වයත් එහිම කොටසක් වූ තමා පිළිබඳවත් විමර්ශනය කිරීමට පෙළඹිණි. සිය අවබෝධය හා කාලීන විශ්වාසයන් මත නිම වූ විශ්වීය අර්ථකකථනයන් බිහිවීම ඇරඹියේ ඒ අයුරිනි. ග්‍රීක ශිෂ්ඨාචාරය තුළ මිනිසා වඩාත් තාර්තීක වීම නිසාවෙන් ඔහු බුද්ධිය මත පමණක් පිහිටා සියල්ල විසඳීමට යත්න දැරීය. තමා තුළ වූ කුමක්දෝ බලයක් පිළිබඳව ඔහු දැන සිටිය බව නොඅනුමානය. මිනිසා තුළ ද්විත්ව පුද්ගල වාසය නැමැති සංකල්පය මත පිහිටා ප්ලෝටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින් බුද්ධිවාදි අදහස් පළ කරන ලද්දේ එබැවිනි.සැබැවින්ම මිනිසා තුළ ලද දෙයින් සෑහිමකට පත් නොවීම නැතහොත් පූර්ණත්වයෙන් පූර්ණත්වයට පත්වීමේ දැඩි ආශාව, ඔහු තුළම කිඳා බැස ඇති මහත් උත්සහායකි, ආයාශයකි. එකී පූර්ණත්වය ළඟා කරගන්නා තුරු ඔහු වචනයෙන් කිව නොහැකි තරම් හිස් බවක් අත්දකින පුද්ගලයෙකි. ලෞකික වශයෙන් දියුණුවේ හිණිපෙත්තටම නැඟුණත් ඔහු තුළ මහත් හිස්කමක් රජ කරයි. මන්ද සැබෑ පුර්ණත්වය වචනයේ අර්ථයෙන්ම ආධ්‍යාත්මික වන බැවිනි.
විශ්ව මානව ඉතිහාසයේ කොයියම් හෝ වැදගත් සංධිස්ථානයකදී දෙවියන් වහන්සේ මනුෂ්‍යා තුළ මහ විශ්ව බලයක් තැන්පත් කළ බව කිතුනු අපගේ විශ්වාසයයි. මේ බලය මානව පරිණාමයත් සමඟම තවතවත් බලවත් වෙමින්, ඉදිරියටම ගමන් කරයි. පරිණාමවේදි කිතුනු පියතුමකු වන තෙයියාඩ්ඩේ ෂාඩෑන් නම් පියතුමා පවසන ප්‍රකාර මිනිස් පරිණාමයේ අවසාන නැවතුම, අධිමානසික තත්වයකි. විශ්වය තරණය කරමින් විද්‍යාව හා තාක්ෂණ දියුණුවේ ඔටුනු පැළඳ ගැනීමට වෙර දරන මිනිසා මානව පරිණාමයේ, තවත් එක සංධිස්ථානයකදී තමාවම තරණය කිරීමට පෙළඹෙනු ඇත. මක්නිසාදයත් විද්‍යාව හා තාක්ෂණික දියණුවේ ආරම්භය හෙවත් ප්රභවය අසිරිමත් මිනිස් මනස වන නිසාමය. මුළු ලෝකයක් විනාශ කළ හැකි පරමාණු බෝම්බය මුලින්ම තැනුණේ මිනිස් මනස තුළය. එසේනම් මේ සා විශාල බලයක් නිපදවිය හැකි සිය මානසික ශක්තිය ගවේශණ කිරීමේ වැදගත්කම මිනිසා අත්දැකීමෙන් අවබෝධ කර ගන්නා නිසා, එය උද්දීපනය කර ගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට ක්‍රමයෙන් පෙළඹෙනු ඇත.
තමා තුළම වන මහඟු නිධානයක් වැනි එකී අධීමානසික ශක්තිය උපයෝගි කර ගනිමින්, බුදු රජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වැනි ශාස්තෘවරු හා එතුමාණන්ලාගේ බොහෝ අනුගාමිකයන් ද, ඇල්බට් අයින්ස්ටයින්, චාර්ල්ස් ඩාවින්, ප්‍රැන්සිස් ගැල්ටන් වැනි උගතුන් මෙන් මේ මහ බලය ප්‍රයොජනයට ගෙන විශ්වයට ආලෝකයක් වන පුද්ගලයින්ට වඩා පූර්ණත්වයේ ආයාශය හෙවත් නොනිමෙන ප්‍රේරණය නිසා තමා තුළ වන හිස් බව ජය ගැනීමට ධනය, බලය, කීර්තිය, මත්ද්‍රව්‍ය, ත්‍රස්ත ක්‍රියා හා නොයෙකුත් සමාජ විරෝධි ක්‍රියාවන් පසුපස හඹා ගොස් සිය ජීවිතය කාලකන්ණි කර ගනිමින් තමාටත්, ලෝකයාටත් ශාප කර ගන්නා පුද්ගලයන් බොහෝ ය.
මේ ඛේදනීය තත්වය මැනවින් වටහා ගෙන ධනාත්මක චින්තනය තුළින් තම පෞෂත්වයේ යතුර සිය අතට ගෙන තමා තුළ වන විශ්වීය බලය තේරුම් ගෙන, අද සිට අර්ථයෙන් මෙන්ම ධර්මයෙන් සාර්ථක පුද්ගලයකු බිහි වීමට මෙම ලිපිය මහෝපකාරි වේවා!
(කොළඹ ඇක්වයිනස් විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ පීඨාධිපති ගරු ප්රැක්සිඩ් ඇන්තනි පියතුමාගේ මම කවුද? ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලදි)
කිතුහඬ – කුරුණෑගල
No comments:
Post a Comment